නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස සීල දස්සන සම්පන්නං - ධම්මට්ඨං සච්චවේදිනං අත්තනො කම්ම කුබ්බානං - තං ජනො කුරුතේ පියං පිය වග්ග, ධ.ප. සැදැහැවත් පින්වතුනි, සම්බුද්ධ ශාසනයේ නියම පරමාර්ථ, නියම වටිනාකම්, ගැන හරි අවබෝධයක් ගිහි පැවිදි දෙපක්ෂය තුළම ඇතිවීම ශාසනය බොහොම කාලයක් පවතින්න හේතුවන කාරණයක්. ඒක නිසා බුදුපියාණන් වහන්සේ ඒ පරමාර්ථ, ඒ වටිනාකම්, ඉස්මතුකර දෙන්න නොයෙකුත් විදියේ අවස්ථා යොදාගත්තා. ප්‍රතිපත්තිගරුක ශ්‍රාවකයන් වහන්සේලාට විශේෂ ප්‍රශංසා කළා. විශේෂ සැලකිලි දැක්වුවා. මොකද, ප්‍රතිපත්තිය තමයි ශාසනයේ ජීවය. ප්‍රතිපත්තිය නැති තැන ප්‍රතිවේධය කියල කියන මාර්ග ඵල ප්‍රත්‍යක්ෂකරගැනීමක්, නිවන් දැකීමක්, සසර දුක් කෙළවර කර ගැනීමක්, කරගන්න පුළුවන් වෙන්නේ නෑ. ඒක නිසා බුදුපියාණන් වහන්සේ මේ ගිහි පැවිදි දෙපක්ෂය තුළම ලෝකෝත්තර ගුණධර්ම වැඩෙන විදියේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිකර ගැනීමේ වටිනාකම බොහොම අවස්ථාවල්වල වර්ණනා කළා. දැන් අපි මේ මතක්කළ ගාථාවත්, ඒකට අදාළ නිදාන කථාවත් මේකට හොඳ නිදර්ශනයක්. බුදුපියාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ එක් දවසක උදෑසන අසූමහ ශ්‍රාවකයන් වහන්සේලාත් ඇතුළු පන්සියයක් සංඝයාවහන්සේලා පිරිවරාගෙන රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩියා. එදා රජගහ නුවර සැණකෙළි දවසක්. උත්සව දවසක්. සමහරවිට දැන් මේ කියන අලුත් අවුරුදු උත්සවය වගේ යම්කිසි උත්සවයක් වෙන්ට ඇති. එතකොට හරියටම ඒ අවස්ථාවේම ඒ නගරයෙන් පිටත්වෙල එනවා පන්සියයක ළමයි කණ්ඩායමක් කැවුම් මලු උස්සගෙන. ඒ ළමයින්ට බුදුපියාණන් වහන්සේ මුණගැසුනහම කැවුම් මලු පැත්තකින් තියල බුදුපියාණන්වහන්සේටත් ඒ සංඝයා වහන්සේලාටත් වන්දනා කරල, ඒ කැවුම් මලු අරගෙන නික්ම ගියා. එතන ඉක්මවලා ගියා. ඒ ගියාට පස්සේ බුදුපියාණන් වහන්සේ සංඝයාවහන්සේලාගෙන් අහනවා, “මහණෙනි කැවුම් වළදනවද?” “කොහේද ස්වාමීනි කැවුම්” “ඇයි දැක්කේ නැද්ද අර ළමයි කණ්ඩායමක් කැවුම් මළු උස්සගෙන මෙතනින් පියමං වෙනවා.” “ස්වාමීනි ඒ වගේ ළමයි කාටද කැවුම් දෙන්නේ” “මහණෙනි එහෙම කියන්න එපා. ඒ ළමයි මටවත් තුඹලටවත් කැවුම් පිළිගැන්දුවේ නැත්තේ මොකද අන්න කැවුම් වල නියම අයිතිකාර භික්ෂුව පිටිපස්සෙන් වඩිනවා.” එහෙම කියල, “අපි කැවුම් වළඳලාම යන්න ඕන මහණෙනි”. කියල බුදු පියාණන්වහන්සේ ඒ ළහ තිබුණ ගහක් යට සඟ පිරිසත් එක්ක වැඩ හුන්න. කවුද මේ කැවුම් අයිතිකාර භික්ෂුන්වහන්සේ. මේ පන්සියයක් පිරිස පිටිපස්සෙන් වෙනම වඩිනවා, බුදුපියාණන් වහන්සේගෙන් නිතර ප්‍රශංසා ලැබූ, බුදු පියාණන්වහන්සේගේ සිවුරු පවා පූජා වශයෙන් ලැබූ - හුවමාරු කරගත්ත - ඒ වගේම ධුතාංගධාරීන් අතර අග්‍රස්ථානය බුදුපියාණන්වහන්සේගෙන් ලබාගත්තු මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ. තපෝ ගුණයෙන් අග්‍ර ස්වාමීන්වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ පළපුරුදු ආකාරයට, විවේකයටම කැමති නිසා ඒ අවස්ථාවේ අර පිරිසෙන් වෙන්ව හෙමිහිට පිටිපස්සෙන් වැඩම කරනවා. එතකොට අර කැවුම් මලු ඔසවාගෙන ගිය ළමයි මේ ස්වාමීන් වහන්සේ දැකල, පුදුම විදියේ ශ්‍රද්ධාවක්, පැහැදීමක්, ප්‍රසාදයක් ඇතිකරගෙන පසඟ පිහිටුවල වැදල, කැවුම් මුළුපිටින්ම ස්වාමීන් වහන්සේට පිළිගැන්දුවා, “පිළිගන්න ස්වාමීනි” කියල. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඒ ළමයින්ට කියනවා “ළමයිනේ, අන්න අපේ ශාස්තෘන් වහන්සේත් සංඝයාවහන්සේලාත් අතන ගහ මුල වැඩ හිඳිනව, ගිහිල්ල ඒ හැමදෙනාටම යමක් පූජාකරන්න තියනවා නම් පූජාකරන්න” කියල. එහෙම ප්‍රකාශකරල මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ අර ළමයි කණ්ඩායමත් එක්ක බුදුපියාණන් වහන්සේ වැඩහිටි ගහ යටට වැඩම කළා. ඊළඟට අර ළමයි ඒ සියලුම සඟපිරිසට බුදුපියාණන්වහන්සේ ප්‍රධාන සඟ පිරිසට - කැවුම් පිළිගැන්වූවා. වළඳනකං, බලං ඉඳල පැන් හිටං පිළිගැන්දවූවා. ඒ පැන් පිළිගන්වලා අවසන් උනාට පස්සේ, කැවුම් එහෙම වළඳලා ඉවරඋනාට පස්සේ, සංඝයාවහන්සේලා අතර යම්කිසි කසුකුසුවක් වගේ විවේචනයක් - විවේචනාත්මක වචන කීපයක් - ඇහෙනවා. ’මේ ළමයි මුණ බලල පිණ්ඩපාතේ බෙදන්න වගේ වැඩක් කරල තියෙන්නෙ. මේ තරම් මේ බුදුපියාණන් වහන්සේත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වගේ ඒ ශ්‍රේෂ්ඨ ස්වාමීන්වහන්සේලාත් ඉඳිද්දී, මේ පිටිපස්සෙන් වඩින මහාකාශ්‍යප මහරහතන් වහන්සේට කැවුම් සියල්ලම පිළිගැන්වූවා” කියල. මේක ඇහිල බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කරනවා, “මහණෙනි එහෙම කියන්න එපා. මගේ පුත්‍ර මහාකාශ්‍යප දෙවි මිනිසුන්ට ප්‍රියයි. ඒ නිසා දෙවි මිනිසුන් - මනුෂ්‍යයින් පමණක් නොවේ දෙවියන් පවා - මහා කාශ්‍යපට පිණ්ඩපාතයෙන් සිවුපසයෙන් සංග්‍රහ කරනවා. පූජා කරනවා” කියල එහෙම ප්‍රකාශ කරල තමයි අර අපි කලින් මාතෘකා හැටියට තබාගත්කු ගාථාව වදාළේ. සීල දස්සන සම්පන්නං - ධම්මට්ඨං සච්චවේදිනං අත්තනො කම්ම කුබ්බානං - තං ජනො කුරුතේ පියං ඒකෙ අදහස අපි බලමු. ‘සීල දස්සන සම්පන්නං’ - සංඝයාවහන්සේලාට අයිති හතරාකාර ශීලයක් තියෙනවා. සිවු පිරිසිදු ශීලය කියල කියනවා. කෙටියෙන් සඳහන් කරනවා නම්, බුදු පියාණන් වහන්සේ පණවා වදාළ විනය ශික්ෂාපද අයිති ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය. ඒ පිළිබඳ හික්මීම. ඒක එකක්. ඊළඟට මේ ඇස කන් නාසාදී ඉන්ද්‍රියන් කෙලෙසුන්ගෙන් සංවර කර ගැනීම, ආරක්ෂාකර ගැනීම, කියල කියන ඉන්ද්‍රිය සංවර ශීලය - දෙවැනි එක. ඊළඟට සිවුපසය සේවීම පිළිබඳව අනියම් ක්‍රම නැතිව ධාර්මිකව, නිසි ආකාරයෙන් සිවුපසය ලබාගැනීම පිළිබඳ හරි ආජීවය, ජීවිකාව පිළිබඳ අජීව පාරිශුද්ධි ශීලය - ජීවිකාව පිළිබඳ පිරිසිදුබව රැකීම. හතරවෙනුව, ඒ ලබාගත් සිවුපසය ‘ප්‍රත්‍යවේක්ෂා’ කියල කියන නුවණින් සලකා - සිවුපසය පරිභෝග කිරීමේ නියම අර්ථය සලකාගෙන - ඒක භාවනාවට නඟමින් පාවිච්චි කිරීම කියල කියන ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය. නම්න් හැඳින්වෙන සිවුපසය පිළිබඳ ශීලය. ඔය විදියට හතරාකාර ශීලයක් සංඝයාවහන්සේලාට තිබෙනවා. ඔය සිවු පිරිසිදු ශීලයෙන්ම සම්පූර්ණයි මේ තපෝගුණයෙන් අග්‍ර මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ. එතකොට, ඒ ශීලය. ඊළඟට ‘දස්සන’ කියල කියන්නේ සම්‍යක් දෘෂ්ටිය. මාර්ගඵල ප්‍රතිවේධයෙන් - දැන් මෙතන මේ රහතන් වහන්සේ කෙනෙක් - ඒ සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තයි. එතකොට “සීල දස්සන සම්පන්නං” - “ධම්මට්ඨං” කියල කියන්නේ - ධර්මයෙහි පිහිටියාවූ. ධර්මයෙහි හරිහැටි පිහිටලා තිබෙනවා. ඒ ලෝකෝත්තරමාඟීඵල ප්‍රත්‍යක්ෂකරගැනීමෙන් හරියාකාර ධර්මයෙහි පිහිටලා සිටිනවා. ‘ධම්මට්ඨං’. ඊළඟට ‘සච්චවේදිනං’ චතුරාර්යී සත්‍යය තේරුම් අරගෙන තියෙනවා හරි ආකාරයට - ‘සච්චවේදිනං’. ඒ වගේම ‘අත්තනො කම්ම කුබ්බානං’. ‘අත්තනො කම්ම කුබ්බානං’ - කියල කියන්නේ පින්වතුනි ‘තමාගේ වැඩය කරන්නාවූ’. තමාගේ වැඩය කරන්නාවූ. මෙතන තමාගේ වැඩය කියල කියන්නේ බුදුපියාණන්වහන්සේ වදාළ සංඝයා වහන්සේලාට අයිති වැඩේ මොකක්ද, ශීල - සමාධි - ප්‍රඥා කියල කියන නිවනට උපකාර වන ඒ ත්‍රිවිධ ශික්ෂාව. ඒක වැඩීමයි. අන්න ඒ ශීල - සමාධි - ප්‍රඥා කියන තමන්ට අයිති වැඩේ කරන්නාවූ. එතකොට මේ ගාථාවෙ අදහස ශීලයෙන් හා සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, ධර්මයෙහි හරියාකාරව පිහිටියා වූ, චතුරාර්යී සත්‍යය තේරුම් ගත්තා වූ, ඒ වගේම තමන්ට අයිති වැඩය කරන්නාවූ, එබඳු ඒ භික්ෂුවට ‘තං ජනො කුරුතේ පියං’ එබඳු ඒ භික්ෂුවට ජනයා ප්‍රිය කරයි. ඒ භික්ෂුව ජනප්‍රිය වෙයි, කියල ඒ විදියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගාථාවත් එක්කම වදාළ දේශනාව අහල අර පන්සියක් දරුවන්ම සෝවාන්දුනා. උතුම්වූ සෝවාන් එළයට පැමිණියා. එතකොට, දැන් අපි මේ ගාථාවත් කතාවත් බැලුවහම අවුරුද්දට කියාපු කැවුම් බණක් වගෙයි. නමුත් මේක නිකම්ම කැවුම් බණක් නොවෙයි. මේකේ බොහොම වටිනා ගුණ සුවඳක් තිබෙනවා. දහම් රසයක් තිබෙනවා. අපි ඒක උරාගන්න බලමු. එතකොට පළමුවෙන්ම අපි කල්පනා කරල බලමු, දැන් මෙතන මේ මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ - මේ විශේෂ කෙනෙක්. මේ ශාසනයේ විශේෂ කෙනෙක්. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා සිටියට මොකද උන්වහන්සේලාගේ ගුණ සම්පත්තිය වෙනමයි. ඒ වගේම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විශේෂ වෙන්නේ අර තපෝ ගුණ - ධුතාංග කියල කියන ශීලයට උපකාරවන. ශීලය වඩාත් හොඳින් රැකීමට උපකාර වන අග්‍ර ප්‍රතිපත්ති සමූහයක්, - 13ක් තිබෙනවා - ඒ දහතුනම හරියාකාරව රැක්ක ස්වාමීන් වහන්සේ නමක්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඔය පිණ්ඩපාතයෙන් යැපීම, ඊළඟට ආරණ්‍ය වාසය, පාංශුකූල සිවුරු දැරීම, තුන් සිවුරකින් පමණක් සෑහීමකට පත්වීම, ආදී ඒ උග්‍ර ප්‍රතිපත්ති රාශියක්ම රැක්ක. ඒ වගේම විවේකයට ප්‍රිය කළ නිසයි අර විදියට පිරිසගෙන් වෙන්ව වැඩම කළේ. උන්වහන්සේ පිළිබඳව බුදු පියාණන්වහන්සේ ඇතැම් අවස්ථාවල්වල උන්වහන්සේ ආදර්ශයට ගන්නා හැටියට සංඝයා වහන්සේලාට විශේෂ දේශනා පැවැත්වූවා. උන්වහන්සේගේ ජීවන රටාවේ විශේෂ ලක්ෂණ හුවා දක්වමින් හොඳ ලස්සන උපමා දෙකකින් උන්වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පැවැත්ම, ගිහියන් හා තිබෙන සම්බන්ධතාව, පෙන්වා වදාළා. දැන් අර ගාථාවේ හැටියට නම් ප්‍රකාශ වෙන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහොම ජනප්‍රිය කෙනෙක් කියල. කුඩා දරුවන් අතර පවා ජනප්‍රිය කෙනෙක්. දැන් අපි දන්නවා මේ කාලේ හැටියට සංඝයාවහන්සේ කෙනෙක් ජනප්‍රිය වෙන්න නම් ගිහියන් සමග ඇලී ගැලී කටයුතු කරන්න ඕන, ගිහියන්ගේ වැඩවලට සම්බන්ධවෙලා. ඒවාට උර දෙමින් කටයුතු කරන්ට ඕන. නමුත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවන රටාව පිළිබඳව බුදු පියාණන්වහන්සේ වදාළ උපමා දෙකෙන් අපට වෙන දෙයක් තේරුම්යන්නේ. මොනවද දීපු උපමා - ‘චන්දූපමා’ කියල හඳ පිළිබඳ උපමාවක් දීල තිබෙනවා, බුදු පියාණන් වහන්සේ. මේ මහා කාශ්‍යප හඳ වගේ පවුල් අතර හැසිරෙනවාය කියල. ගෙන් ගෙට පිඬු සිඟා වඩිනකොට හරියට මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හඳ වගේ. මොකද, හඳ කියල එකට උපමාවට ගත්තේ. ‘නිච්ච නවකා - කුලෙසු අප්‍රගල්භා’ හඳ හැමදාම අලුත්. හඳ හැමදාම අලුත් වෙනවා. අව පක්ෂය හරි, පුර පක්ෂය හරි, හැමදාම අලුත් දෙයක්. අන්න ඒ වගේ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ, ගෙන් ගෙට පිඬුසිහා වැඩියට මොකද, ඒ ගිහියන්ට හැමදාම අලුත් කෙනෙක්. කොහොමද අලුත්වෙන්නේ? අර ගිහියන් සමග පමණට වැඩිය සම්බන්ධකම් නැති නිසා. අපි දන්නවා දැන් ගමේ ගොඩේ කථාවක් තිබෙනවා “දෙවේලේ දකින කුකුළගෙ කරමලේ” ගැන. අන්න ඒ වගේ තත්ත්වයක් එනවා පමණට වඩා ඇලීගැලී කටයුතු කළොත්. එහෙම එකක් නෑ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගෙ - හඳ වගේ. දැන්, හඳ කිව්වහම අපේ ළිඳෙත් පේනවා. පොකුණේත් පේනවා. හැමතැනම පේනවා. හැබැයි අල්ලගන්න බෑ. අල්ලගන්න බෑ හඳ, කාටවත්. අන්න ඒ වගේ තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේත් කාටවත් අල්ලගන්න බෑ, ගිහි ගෙවල්වල එහෙම ගියාට මොකද. ඒක නිසා ‘කුලෙසු අප්‍රගල්භා’ කියල කියනවා. ඒ පවුල් සමග පමණට වැඩි සම්බන්ධතාවක් නෑ. අනියම් සම්බන්ධතාවල් නෑ. අන්න ඒ ගුණ දෙක, ඒ විදියට අර හඳේ උපමාවෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරල එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආදර්ශයට අරගෙන ජීවත්වෙන්නෙයි කියල වදාළා. තවත් උපමාවක් බුදු පියාණන් වහන්සෙ දැක්වූවා. “ජරූදපාන” උපමාව. ඒ කියන්නේ “පාළු ළිඳක්”. මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ උපමා කළා පාළු ළිඳකට එබී බලන කෙනෙකුට. හරියට දැන් පාළු ළිඳකට කෙනෙක් එබී බලනකොට එබී බලන්නේ, ඒකට වැටෙන්න හිතාගෙන නොවෙයි. කයයි සිතයි මැත්කරගෙන. කයයි සිතයි මැත් කරගෙන පාළු ළිඳකට එබී බලන්න වගේ ගිහියන් අතර පිඬුසිහා වඩිනවා කියල මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ප්‍රශංසා කර වදාළා, බුදු පියාණන් වහන්සේ. ඔය උපමා දෙකෙන් පේනවා, එතකොට, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අපි මේ කාලේ හිතන විදියට නම් ‘ජනප්‍රිය’ කියන වචනයට ගැලපෙන්නේ නෑ. ජනප්‍රිය කෙනෙක් වෙන්ට බෑ. නමුත් පින්වතුනි ජනප්‍රියත්වයේ මට්ටම් දෙකක් තිබෙනවා. ධනය, නිලය, බලතල ආදී දේවල් නිසා ජනප්‍රිය වීමක් තිබෙනවා. ඒක බොහොම මතුපිටින් යන ජනප්‍රියත්වයක්. බොහොම ඉක්මණින් නැතිවෙලා යනවා. ගුණ ගරුකත්වය නිසා ඇතිවන ජනප්‍රියත්වය රීටත් වඩා ගැඹුරු දෙයක්. දැන් මෙතනින් අපට පේනවා, අර කුඩා දරුවන් කියල කිව්වහම, අපි දන්නවා කුඩා දරුවන්ට සමහර දේවල් ඉවෙන් වගේ දැනෙනවා. වැඩිහිටියන්ගේ නොයෙකුත් විතර්කවලින්, විචේවන ආදී ඒ හිතිවිලි වලින්, කලවම් වෙච්ච, ව්‍යාකූල වෙච්ච, සිත්වලට වඩා පිරිසුද සිතක් කුඩා දරුවන් තුළ තිබෙනවා. ඔවුන්ට මේ ගුණ සම්පත්තිය කියන එක සමහරවිට ඉවෙන් වගේ දැනෙනවා. අන්න ඒක නිසා වෙන්න ඇති අර පන්සියයක් දරුවන් අර බුදු පියාණන් වහන්සේලාටත් - ඒ ගෞරව නැතිව නොවෙයි - වන්දනා කළාට මොකද අර තනිව වඩින මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ තපෝ ගුණයට විශේෂයෙන් වශීවුනේ. වශීවෙලා අර විදියට කැවුම් මලු පූජා කළේ. එයින් පේනවා ඒ දරුවන් තුළ යම්කිසි සහජ පුණ්‍ය ශක්තියකුත් තිබෙන්ට ඇති. “හැදෙන ගහ දෙපත්තෙන් දැනේ” කියල කථාවක් තිබෙනවා. ඒ වගේ මේ දරුවන් තුළත් හැදෙන ගසක් වගේ ඇතුළත තිබිල තියෙනවා යම්කිසි ගුණ ශක්තියක්. ඒක නිසාමයි අර බණ අහලා අච්චර ඉක්මණින්ම ඒ සෝවාන් එළය කියලා කියන උතුම් තත්ත්වයට පත් වුනේ. බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා ශ්‍රේෂ්ඨවූ තත්ත්වයක් සෝවාන් තත්ත්වය පවා - පළමුවෙනි මාර්ගඵලය වුනත්. මොකද, තව ජීවිත හතයි සංසාරයෙ ගෙවන්න වෙන්නෙ. ඒ වගේම සතර අපායෙන් නිදහස්. එබඳු තත්ත්වයක් ලබාගත්තා. ඒ වගේම එතනදී මේ දරුවන්ගේ සිත සකස්වුනෙ කොහොමද කියන එකත් අපිට හිතාගන්න පුළුවන්. පළමුවෙන්ම ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙ ගුණ සම්පත්තිය අනුව සිත පහදවා ගත්තා. ඒ ගුණ සම්පත්තිය හැඳිනගත්තා. බුදු පියාණන්වහන්සේ වදාළ කෙටිගාථාවෙන්. දැන් අපි අර පළමුවෙන්ම විග්‍රහකළේ ඒ ගාථාවෙ අදහසයි. එයින් තේරුම් ගත්ත මේ මහාකාශ්‍යප මහ රහතන්වහන්සේගේ තුළ මේ ගුණ සම්පත්තිය තියෙන නිසයි අපේ සිත පැහැදුනෙ කියල. යමක් පිළිබඳව මුදිතාවෙන් සතුටු වෙනවා නම් ඒ එක්කම තමන් ඒ ගුණයත් එක්කම වැඩෙනවා. ඒ වගේම ඒ දරුවන් තුළ තිබුණු පැහැදුනු සිත වඩාත් පිරිසිදු උනා. ඊළඟට ඒ වගේම අපට හිතාගන්න පුළුවන් ඒ පිරිසිදු සිත තවත් පිරිසිදු වෙන්ට උපකාර උනා අර පරිත්‍යාගය. මෙතන කැවුම් පමණක් නොවෙයි පරිත්‍යාග උනේ. කැවුම් එක්ක බැඳුණු විනෝදයත් පරිත්‍යාග උනා. උයනට ගිහිල්ල මේ කැවුම් කකා කෙළි සෙල්ලම් කරන අදහසින් මේ ළමයි පිටත්වුනේ. නමුත් මේ පන්සිය දෙනාම එක් සිතින් අර සියලුම කැවුම් ටික බුදු ප්‍රමුඛ සංඝයා වහන්සේලාට පූජා කළා. එයින් ඒ පරිත්‍යාගය සම්පූර්ණ උනා. සිත වඩාත් ප්‍රසන්න උනා, පැහැදුනා. එබඳු ඒ ප්‍රසන්න සිත තමයි ඊළඟට අර මාර්ගඵල අවබෝධයෙන් ඒ සෝවාන් තත්ත්වය ලබාගත්තේ. අන්න ඒ අනුව අපිට මේකෙන් පේනවා, මේකෙ වටිනා දහම් රසයක් තිබෙනවා, ගුණ සුවඳක් මේක තුළ තිබෙනවා. ඊළඟට තවදුරටත් කල්පනා කරල බලනවා නම්, දැන් මේ බුදුපියාණන් වහන්සේ වදාළ කාරණා අනුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ජනප්‍රියත්වය, දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් ඒ ගුණ සම්පත්තිය නිසා ඇතිවූ ජනප්‍රියත්වයයි. දැන් සාමාන්‍ය සංකල්පයක් තිබෙනවා - විශේෂයෙන්ම මේ කාලයේ - සංඝයා වහන්සේලා කියල කියන්නේ ගිහි පින්වතුන්ගේ සිවුපසයෙන් යැපෙන අය. ඒක නිසා ඒ සඳහා යම්කිසි ණයක් ගෙවන්ට ඕන. මේක හුවමාරුවක්. මේක ගනුදෙනුවක්. කාරණේත් ඇත්තයි. යම්කිසි ගනුදෙනුවක් මෙතන තියෙන්නෙ. ඒ ණය ගෙවන ආකාරය තමයි ටිකක් වෙනස් වෙන්නේ. සාමාන්‍ය ලෞකික ණය ගෙවීම් වාගේ දෙයක් නොවෙයි. ලෞකික දේ වෙනුවට ලෝකෝත්තර අර්ථයක් සිද්ධ කිරීමෙන් තමයි මේ ණය ගෙවෙන්නේ. ඒක නිසා තමයි දැන් ‘අත්තනො කම්ම කුබ්බානං’ කියල අර ගාථාවෙ කිව්වේ - ‘තමාගේ වැඩය කරන’, තමාගේ වැඩය කරන කෙනාට සමාජයේ යොදන වචනයක් තිබෙනවා ‘ආත්මාර්ථකාමී’ කියලා. ‘ආත්මාර්ථකාමී පුද්ගලයා’. එතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හඳුන්වන්නේ බුදු පියාණන්වහන්සේ ආත්මාර්ථකාමී කෙනෙක් හැටියට. නමුත් මේ ආත්මාර්ථය සිද්ධවෙනවත් එක්කම - මොකක්ද ආත්මාර්ථය, ශීල සමාධි ප්‍රඥා කියල කියන නිවනට උපකාරීවන ධර්ම පිරීම - ඒවා සම්පූර්ණ වෙනකොට පරාර්ථය සිද්ධවෙලා ඉවරයි. ඒක නිසා එතන ආත්මාර්ථයම පරාර්ථය බවට පත් වෙනවා. දැන් මේ ශිෂ්‍යයන් විසින් සංඝයා වහන්සේලාට පූජාකරන සිවුපසය ගැන කල්පනා කරල බලනකොට, මේවා පූජාකිරීම අර යාවකයින්ට - දුගී මගී යාවකාදීන්ට - දීමට වඩා වෙනස් දෙයක්. දුගී මගී යාවකාදීන්ට දෙන්නේ, පින්වතුනි කරුණාව මූලික කරගෙන. සංඝයා වහන්සේලාට පූජාකරන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙන. ඒක නිසා බුදු පියාණන්වහන්සේ බොහෝ අවස්ථාවල සංඝයා වහන්සේලාට තමන්ට අයිති වැඩේ සිහිපත් කරදීම සඳහා ප්‍රකාශ කළා, “මහණෙනි නුඹලා ‘සද්ධාදෙය්‍ය’ භෝජනය වළදනවා” කියල. ශ්‍රද්ධාවෙන් දෙන ආහාරය වළදලයි නුඹලා මේ ජීවත්වෙන්නේ කියල. ඒකට ණය ගෙවන්ට ඕන. ඒකට ණය ගෙවන්ට ඕන. කොහොමද ණය ගෙවන්නේ? මේ සිවුපසය පරිභෝග කරන ක්‍රම හතරක් ධර්මයෙහි දක්වල තිබෙනවා. මොනවද ඒ හතර? පළමුවෙනි එක, ථෙය්‍ය පරිභෝගය - ථෙය්‍ය පරිභෝගය කියල කියන්නේ. අපි සාමාන්‍ය වචනයක් ගත්තොත්, ‘හොරාකනව’ වගේ. හොරාට අරගෙන පාවිච්චි කරනවා වගේ. ථෙය්‍ය පරිභෝගය. දෙවෙනි එක, ඉණ පරිභෝගය - ණයට අරගෙන පාවිච්චි කරනවා වගේ තුන්වෙනි එක, දායජ්ජ පරිභෝගය - දායාද වශයෙන් ලබාගෙන පාවිච්චි කරනවා කියන එක. හතරවෙනි එක, සාමි පරිභෝගය - සිවුපසයට අයිතිකාරයෙක් හැටියට පාවිච්චි කිරීම ඔන්න ඔය විදියේ සංකල්ප හතරක් ධර්මයෙහි දක්වෙනවා. අපි මේ එක එකක් ටිකක් දුරට විග්‍රහ කරන්න බලමු. ථෙය්‍ය පරිභෝගය කියල කියන්නේ කිසිම ගුණ සම්පත්තියක් නැතිව ශීලාදී ගුණයක් නැතිව, සිවුපසය පරිභෝග කිරීම. එයින් ඒ පරිභෝග කරන තැනැත්තා - භික්ෂුව - ණය කාරයෙක් වෙනවා ගිහියන්ට. වෙන කොයි විදියේ ලෞකික මට්ටමින් ණය ගෙවන්ට උත්සාහ කළත්, ධර්මානුකුලව ණයකාරයෙක් වෙනවා. ඒකට ණය ගෙවන්ට ඕන දීර්ඝ කාලයක් සංසාරයේ, සමහරවිට. ඉතින් අන්න ඒ විදියේ තත්ත්වයක්. ඒක ථෙය්‍ය පරිභෝගය - ‘හොරාට කනවා’ වගේ. ඊළඟට, දෙවෙනි කාරණය - ඉණ පරිභෝගය. ණයට අරගෙන පාවිච්චි කරන එක. හොරාට අරගෙන පාවිච්චි කරනවාට වැඩිය දෙවෙනි තත්ත්වය ඊට වඩා ටිකක් හරි හොඳයි - ණයට ගන්න එක. ඒක නොගෙන බෑ. මේ සංඝයා වහන්සේලාට ජීවත්වීම සඳහා සිවුපසය අත්‍යවශයි. ජීවත්වීමට යම්කිසි ප්‍රත්‍යයක් අවශයි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය කියන මේ, අඳින්න දෙයක්, ආහාරයක්, ඊළඟට වසන්න තැනක්, ආවාසයක්. බෙහෙත් හේත් ආදිය. මේක සිවුපසයයි. නමුත් මේ ප්‍රත්‍යය මේ සංඝයා වහන්සේලා ගත්තේ ණයක් හැටියටයි. දැන් අපි දන්නවා මේ ණය - ණයක් අරගත්කු කෙනෙක්, ඒක අපි හිතමු යම්කිසි ව්‍යාපාරයක් සඳහා හෝ ගොවිතැන් සඳහා හෝ ණයකරයක් ගත්තා. ඒ ණය ආයි ගෙවන්ට කිසිවෙක් අදහසක් නැතිව ඒක කාබාසිනියා කරනවා නම්, එයා ඇත්ත වශයෙන්ම ණය කාරයෙක් නොවෙයි, හොරෙක්. ඒ වෙනුවට යම්කිසි කෙනෙක් ඒක හරියාකාර, නිසියාකාර, ඒ අර්ථය සිද්ධකර ගැනීම සඳහා ව්‍යාපාරයේ හෝ ගොවිතැනේ හෝ යොදමින්, අවස්ථානුකූලව පොලී ගෙවනවා නම්, අන්න ඒ තැනැත්තා නියම ණය කාරයෙක්. ණය කාරයෙකුට අයිති යුතුකම ඉෂ්ටකරන කෙනෙක්. අන්න ඒ වගේ බුදුපියාණන්වහන්සේ මේ ඉණ පරිභෝගය කියල කියන, ‘ණයට අරගෙන පරිභෝග කිරීම’ කියන එක තෝරල තියෙන්නෙ කොහොමද? යම්කිසි භික්ෂුවක් අර සිවුපසය එක එකක්ම, චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය කියන ඒ එක එක ප්‍රත්‍යයක්ම, ප්‍රත්‍යවේක්ෂා කරල, නුවණින් සලකල බලල, පරිභෝග කරනවා නම්, ඒක හරියට ණය කාරයෙක් හැටියට පරිභෝග කිරීම වගේ. මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එකේ දෙපැත්තක් තියෙනවා. දැන් අපි හිතමු, ඒකට නිදසුනක් ගත්තොත්, පිණ්ඩපාතය - ආහාරය. ආහාරය සාමාන්‍යයෙන් ගිහි පින්වතුන් පාවිච්චි කරන්නේ කුසයින්න නිවාගැනීමට පමණක් නොවෙයි. රස තෘෂ්ණාව, තව, ඇහපත හොදට වඩවා ගැනීම, රූප සම්පන්න කර ගැනීම. ඔය විදියේ පරමාර්ථ අනුවයි. ඒ විදියේ එකක් සංඝයාවහන්සේලාට සුදුසු නැති නිසා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා මේ ගන්න ආහාරයේ - පිණ්ඩපාතයේ, - නියම පරමාර්ථය හිතන්නෙයි කියල. “මේ කය පවත්වාගෙන මේ සංසාරයෙන් එතරවීම සඳහා, මේ උතුම් ජීවිතය, බ්‍රහ්මචරියාව ගෙනයාම සඳහායි මම මේ ආහාරය ගන්නේ” කියල, ආහාරයේ - පිණ්ඩපාතයේ - නියම අර්ථය නුවණින් සලකල බැලීම එක පැත්තක්. ඒ වගේම, එපමණක් නොවෙයි. ඒ පිණ්ඩපාතය වැළදීමත් එක්තරා භාවනාවක් කරගන්නවා. කොහොමද? මේ පිණ්ඩපාතය කියල මා ගන්න ආහාරය, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතුවලින් සකැස්වුනු එකක්. මගේ ශරීරයත් ඒ වගේම ධාතුවලින් සකැස්වුනු ශරීරයක්. මේ පිණ්ඩපාතය පිරිසිදුව තිබුනට මොකද මේ පිළිකුල් සහගත ශරීරයට ඇතුල්වෙලා මේක පිළිකුල් බවට පත්වෙනවා. එයින් කෙරෙන්නේ මොකක්ද, ධාතු මනසිකාර, අසුභ මනසිකාර. කියල කියන භාවනා දෙකක් එකෙන් කෙරෙනවා. අන්න ඒකයි. දැන් අපි අර කලින් කිව්ව නේ, අර ණයකරයක් ගත්තහම ණය ගැනීමේ පරමාර්ථය සිහිපත් කිරීමත් - ඒ කටයුතු කිරීමත් - ඊළඟට අවස්ථානුකූලව පොලී ගෙවීමත් නියම ණයකාරයකුගේ යුතුකමය කියල. දැන් මෙතනත් කෙරෙන්නේ ඒකයි. අර සිවුපසය එක එකක්ම - දැන් ආහාරය නම් - “මේක මම ගත්තේ ණයට. මොකටද ගත්තේ? මේ සංසාර කාන්තාරයෙන් එතෙරවීම සඳහා මේ ශරීරය පවත්වාගැනීම සඳහයි”, කියල අන්න පරමාර්ථය සැලකුවා. ඊළඟට එකට පොලී ගෙවීම මොකක්ද? අන්න භාවනාවට හැරෙනවා. මේ පිණ්ඩපාතයත් මේ මගේ ශරීරයත් ධාතු හතරෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරෙන් නිර්මාණය වෙච්ච දේවල්. එතනින්ම, අනාත්ම ධර්මයත් ඒක තුළ තියෙනවා. අනිත්‍ය දුක්ඛ, අනාත්ම. ඊළඟට එපමණක් නොවෙයි, අසුභ පැත්කට හරවනවා. මගේ ශරීරයට, මේ කුණු ශරීරයට, එකතුවෙලා මේ පිරිසිදු ආහාරය කිලිටි බවට පත්වෙනවා. ඔන්න එයින් පොලී ගෙවීමක් කෙරෙනවා. ඇයි? නිවන කරා යන ගමනක්නෙ. නිවන කරා යන ගමනට භාවනාව අත්‍යවශයි. එතකොට සිවුපස පරිභෝගය තුළින් භාවනාවක් කෙරෙනවා. ඒක තමයි පොලී ගෙවීම. මේ විදියට අපි වඩාත් විස්තරකළේ මොකද, ඇතැම් කෙනෙක් මේක තෝරන්නේ වෙන විදියකටයි. සංඝයා වහන්සේලා සිවුපසය ප්‍රත්‍යවේක්ෂා කරල වැළදීම පමණකින්ම ණයෙන් නිදහස් වෙනවා කියලත් ඇතැම් කෙනෙක් තෝරනවා. ඒක නිවැරදියි කියල කියන්න බෑ. ඒකේ අඩුපාඩුවක් තියෙනවා. සිවුපසය ප්‍රත්‍යවේක්ෂා කරල වැළදීම පමණකින් භික්ෂුවක් ණයෙන් නිදහස් වෙන්නේ නෑ. තව ඈතට වැඩ තියෙනවා. ඊළඟට අනිත් කාරණා ප්‍රකාශ කරනකොට ඒක පැහැදිලි වේවි. ඒ දෙවෙනි කාරණය අපි කිව්වේ - ඉණ පරිභෝගය. ඊළඟට තුන්වෙනි කාරණය මොකක්ද? දායජ්ජ පරිභෝගය. දායාදයක් හැටියට සලකල පාවිච්චි කිරීම. ඒක තෝරන්නෙ මෙහෙමයි. අපි හිතමු සෝවාන් තත්ත්වයට ශික්ෂුවක් පත්උනාය කියල. ඒ ශික්ෂුව එදා ඒ පත්වුන අවස්ථාවේ ඉඳල නියම බුදු පුත්‍රයෙක්. ඊළඟට සෝවාන් සකදාගාමී අනාගාමී කියන තත්ත්ව තුනේ සිටින්නේ බුදු පුත්‍රයින්. නමුත් තාම වැඩ ඉවර කරල නෑ. එබදු අයට කියන්නේ ‘සේඛ’ කියල. මේ ශාසනයේ නියම ආකාරයෙන් සික්මෙන අය. වැඩ ඉවර කරල නෑ. අන්න එබදු අය මේ සිවුපසය පරිභෝග කරන්නේ හරියට අර මවුපියන්ගේ දෙයක් දරුවන් පාවිච්චි කරනවා වගේ, දායාදයක් හැටියට සලකල. දැන් මේ කුඩා දරුවන් මවුපියන් ගෙදර නැත්නම් බය නැතිව මවුපියන්ට අයිති දේවල් පාවිච්චි කරනවා. තමන්ගේ දෙයක් නොවන නමුත් මවුපියන්ට අයිති නිසා. අන්න ඒ වගේ, ඒ සෝවාන් සකදාගාමී අනාගාමී කියන මුල් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගත්තු සංඝයා වහන්සේලාගේ සිවුපස පරිභෝගය උපමා කරන්නේ අර දරුවන් මවුපියන්ගේ දෙයක් පරිභෝග කිරීමට, පාවිච්චි කිරීමට, දායජ්ජ පරිභෝගය. ඒ තුන්වෙනි කාරණය. අවසානයේ තියෙන්නෙ සාමි පරිභෝගය. නියම වශයෙන්ම, හැම අර්ථයෙන්ම, සිවුපසයට අයිතිකාරයින් හැටියට පාවිච්චි කිරීම. ඒක කෙරෙන්නේ රහත්වුනාට පස්සෙයි. රහත්වුන අවස්ථාවේදී - රහත්වුන පුද්ගලයා හඳුන්වන්නේ ණයනැති කෙනෙක් හැටියට. ඒක නිසා තමයි - දැන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ගැනයි අපි කථා කළේ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ රහත්වුනේ පැවිදිවෙල හත්දිනෙන්. උන්වහන්සේ මේ කාරණය ප්‍රකාශ කරනවා එක් අවස්ථාවක: ‘මම හයදවසක් පමණක් ණයට පිණ්ඩපාතෙ වැළදුවා, හත්වෙනි දවසේ ණය නැතිව වැළදුවා’. එයින් අදහස් කළේ මොකක්ද? හය දවසක් යනතුරු මම රහත්උනෙ නෑ. හත්වෙනි දවසේ රහත්වුනාය කියන එක. එයින් පෙනෙන්නේ රහතන් වහන්සේ ණය නැතිව පිණ්ඩපාතෙ වළදනවා කියන එකයි. අමුතුවෙන් ණයක් ගෙවන්න දෙයක් නෑ. ඉතිරි හරිය කරන්නේ - ලෝකයාට යම් විශේෂ අනුග්‍රහයක් කරනවා නම් ඒක කරන්නේ - ලෝකානුකම්පාවෙන්. ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර පළමු හැට නම රහත් වෙනකං හිටියේ, ඒ ඒ දිසාවල යවන්න, බහුජන හිත බහුජන සුව සඳහා. ඊට කලින් නොවේ. රහත්වුනාට පස්සේ බුදුපියාණන්වහන්සේ ‘ගිහිල්ල ණය ගෙවන්න’ කියන එක නෙවෙයි වදාළේ - ‘ණය නැතිව හැසිරෙන්න’ කියල. ගිහිල්ල බණදෙසල ණය ගෙවන්නෙයි කියන අදහසින් නොවෙයි අර හැට නමක් යැව්වේ. ඇතැම් කෙනෙක් වැරදි විදියට තෝරන නිසා අපි මේ විශේෂයෙන්ම අවධාරණය කරන්නේ. අර හැට නමට - ‘බහුජන හිතාය. බහුජන සුඛාය’ - බොහෝ දෙනාගේ හිතසුව පිණිස හැසිරෙන්න කිව්වේ, බුදුපියාණන්වහන්සේ වදාළේ, ගිහිල්ල ණය ගෙවන්නෙයි කියන එක නෙවෙයි. ඒක ලෝකානුකම්පාවෙන් කරන දෙයක්, ඒ ඉතිරි ජීවිත කාලයේ රහතන් වහන්සේලා. නමුත් එතන කියවෙනවා : ‘අණන විවර ලෝකෙ’ - ‘ණය නැතිව ලෝකයේ හැසිරෙන්න’ කියලා. එතන ඉඳල ණය නැතිවයි හැසිරෙන්නේ. ඔන්න ඔය විදියේ තත්ත්වයකින් ණය නැතිවීම තමයි, හරියට ණයකරයෙන් නිදහස්වීම. එතන ඉඳල තමයි සාමි පරිභෝගය තියෙන්නෙ. සිවු පසයට නියම අයිතිකාරයින් හැටියට ඒවා පරිභෝග කරනවා. ණය ගෙවන්නේ කොහොමද කියන එකයි මෙයින් පෙන්නුම් කරන්නේ. ඊළඟට, ඒ වගේම, දැන් අපි දන්නවා ඒ ණය ගෙවීම තුළ ඒ ගුණ සම්පත්තිය දියුණුවීම නිසා අර්හත්වය හඳුන්වන්නේ ණයනැති තත්ත්වය හැටියටයි. ණය නැති තත්ත්වයක් හැටියටයි. බුදු පියාණන්වහන්සේත් රහතන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලා එහෙමත්, ණය නැතිව සිවුපසය පරිභෝග කරනවා. මේ ගනුදෙනුව තුළ තිබෙන ලෝකෝත්තර අගය නිසා තමයි දැන් මේ පින්වතුන්ට නිතර අසන්නට ලැබෙනවා ඇති - ඔය දාන පිංකම් ආදියේදී - කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනැය ගිහි පින්වතුන් පිරිණමන දානයක් මහත්ඵල මහානිසංස වෙන්න කියල. මොනවද ඒ කාරණා තුන? 1. දායක සම්පත්තිය 2. දෙය්‍ය ධර්ම සම්පත්තිය 3. ප්‍රතිග්‍රාහක සම්පත්තිය. දායක සම්පත්තිය කියල කියන්නේ දායකයාට තිබෙන සම්පත්තිය නොවෙයි. නියම දායකයෙකුට තිබිය යුතු ගුණ සම්පත්තියයි. ගුණාංග සමූහයෙන් සම්පූර්ණ වීමයි. ශ්‍රද්ධාව, පරිත්‍යාග චේතනාව, ශීලය ආදි ඒ කාරණාවලින් සම්පූර්ණ නම් එයා නියම දායකයෙක්. අන්න දායක සම්පත්තිය. දෙය්‍ය ධර්ම සම්පත්තිය කියල කියන්නේ දෙන දේ පිළිබඳව ධාර්මිකත්වය. ධාර්මිකව උපයා සපයාගත්කු දේ. හොර මැරකම් වලින් ලබාගත්තු දෙයක් නොවෙයි. ඒක ඒ වගේම ප්‍රණීතව හොදින් සකස්කරල - වීසිකරන දෙයක් හැටියට නොවෙයි. ඒ විදියට දෙන දෙයක්. ඒක දෙය්‍ය ධර්ම සම්පත්තිය. ප්‍රතිග්‍රාහක සම්පත්තිය කියල කියන්නේ පිළිගැනීම පක්ෂය පිළිබඳව, ඒ කියන කාරණය. එතකොට ප්‍රතිග්‍රාහක සම්පත්තිය ගැන සලකල බලනකොට ඉහළම අර්ථයෙන් දානය ලැබීමට සුදුසු, බුද්ධ, පසේබුද්ධ, මහරහතන් වහන්සේලාය, රහතන් වහන්සේලාය. එහෙම නැත්නම් ඊළඟට අර එතන ඉඳල ගුණ සම්පත්තිය අනුව යන අයයි. ඒකයි ප්‍රතිග්‍රාහක සම්පත්තිය. ඒ අනුවයි මහත්ඵල මහානිසංස වන්නේ. මේ කාරණයම ගාථාවක දක්වලා තිබෙනවා. බොහෝවිට උපමාවලින් දක්වල තිබෙනවා ගොවිතැනක් පිළිබඳව. ඛෙත්තූපමා අරහන්තා දායකා කස්සකූපමා බීජූපමං දෙය්‍යධම්මං ඒතතො නිබ්බත්තතේ ඵලං රහතන් වහන්සේලා කෙත් වගෙයි. සරු කෙත් වගෙයි. ‘දායකා කස්සකූපමා’. අර සියලු අර දායක ගුණාංගවලින් යුක්ත දායකයෝ නියම දක්ෂ ගොවියන් වගෙයි. ‘බීජූපමං දෙය්‍ය ධම්මං’ - දෙන දානවස්තුව හොඳ බිත්තර වීය වගෙයි. ‘ඒතතො නිබ්බත්තතේ ඵලං’ - මෙයින් තමයි නියම එළය උපදින්නේ, මහත්ඵල මහානිසංස වන්නේ. මහා පුණ්‍යස්කන්ධයක් ගලාගෙන එන්නේ මේ විදියටයි කියල එහෙම තෝරල තියෙනවා. ඒ අනුව එතකොට අපට තේරෙනවා බුදු පියාණන් වහන්සේ අර නියම, නිසියාකාර, ධර්මානුකුල, ගිහි පැවිදි සම්බන්ධතාව මේ කථාන්තරය තුළිනුත්, ගාථාව තුළිනුත් අපට දක්වල වදාරල තියෙනවා, අනාගත පරම්පරාව සඳහා, අනාගත ශාසනයේ ප්‍රගතිය සඳහා. ඊළඟට ඊට අමතරව අපි තව ටිකක් කල්පනා කරල බලමු. දැන් මෙතන මේ කථාව අපි ආරම්භ කරගෙන කියාගෙන යනකොට ඇතැම් කෙනෙකුට හිතෙන්ට ඇති මේක ඇත්ත දෙයක්ද කියල. ඇත්ත සිද්ධියක්ද කියල. මෙතන තියෙනවා මහ ගැඹුරු කාරණයක්. බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් පිළිබඳව, බුද්ධචරිතය කියවෙන ඕනෑම කෙනෙකුට විස්මය ඇතිවෙනවා. පුදුමය ඇතිවෙනවා. බුදු පියාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය පිළිබඳ හරි අවබෝධයක් ඇතිව, හරියට, ඒක අතකින් බලනව නම්, නාට්‍යයක් සිද්ධවෙනවා වගේ බලාගෙන ඉන්නවා. ලෝකයේ මිනිසුන්ගේ සිත් පෙනෙනවා. මිනිසුන් කරන කියන දේ. ඒ අතීතයේ හැකියාවත් සියල්ල පෙනෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන්වහන්සේ අර විදියට වදාළේ. “මහණෙනි කැවුම් වළදන්න කැමතිද” ඊළඟට “අපි කැවුම් වළදලාම යමු”. මේ මොකක්ද මේ බුදු පියාණන්වහන්සේ කළේ. බුදු පියාණන්වහන්සේ පෙරුම්පිරූ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ නොවැළදූ කැවුමක් නැහැ. නොකෑ කැවුමක් නැහැ. අමුතු දෙයක් නෙවෙයි කැවුම. සංඝයා වහන්සේලාට කැවුම් වළදවන්න වෙනම ආසාවකුත් නැහැ. නමුත් මෙතන තියෙන්නෙ මහ ගැඹුරු කාරණයක්. බුදු පියාණන් වහන්සේ අවස්ථාව සලසාගත්ත, අර පන්සියක් දරු පිරිසට - ඒ දරුවන්ගේ උපනිශ්‍රය සම්පත්තිය දැකල, ඒ දරුවන්ගේ ශ්‍රද්ධාව මතුවෙන අවස්ථාව දැකල, ඒ ශ්‍රද්ධාව අනුව ක්‍රියා කිරීමෙන් මාර්ගඵල ප්‍රතිවේධය කරගන්න පුළුවන් බව දැකල - ඒකට අවස්ථාව සලසා ගන්නයි බුදු පියාණන්වහන්සේ අර “අපි කැවුම් වළදලාම වඩිමු”යි කියල ප්‍රකාශ කළේ. එතන තියෙනවා - අපි කල්පනා කරන්ට ඕන, අර මහා කාරුණාවේ තියෙන උපාය කෞශල්‍යය. මහ පුදුමයි. ඒ එක්කම බුදු පියාණන්වහන්සේගේ ඒ උතුම් ගුණයක්, අපිට, ලෝකයාට, ආදර්ශයට ගතහැකි දෙයක් තමයි තමන්ගේ ශ්‍රාවකයෙකුගේ උනත් උතුම් ගුණයක් වර්ණනා කිරීම. දැන් වෙන කෙනෙකුගෙ නම් ‘මට නොදුන්න කැවුමක් අර ගොල්ලන්ට දෙනවා’ කියල මුණ නරක් වෙනවා. මුණත් කැවුමක් වගේ වෙනවා, ඇතැම්විට. එබඳු දේවල් සමාජයේ කොතෙකුත් වෙනවා, ‘මා වැනි ගුණ සම්පත්තියෙන් යුක්ත කෙනෙකුට නොදුන්න කැවුමක් මේ මගේ ගෝලයෙකුට දුන්නා’ කියල. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ කළේ මොකක්ද “මහණෙනි නුඹලාටත් මටත් කැවුම් නොදුන්නාට අර දරුවෝ - කැවුමේ නියම අයිතිකාරයා ඔන්න පිටිපස්සෙන් එනවා. අපිත් එතකං ඉදිමු” කියල. එතනින් ලෝකයාට, විශාල ආදර්ශයක් බුදුපියාණන්වහන්සේ දෙනවා. ඒ වගේම ඒ අවස්ථාව සලසාගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සම්පත්තිය ප්‍රකාශ කරන්ට අර විදියේ ගාථාවකින්. ඒ වගේම, ඒ තුළ තිබෙනවා ශාසනයට පණිවිඩයක්; ශාසන පණිවිඩයක් තිබෙනවා. නියමාකාරයෙන්ම ගිහි පැවිදි සම්බන්ධතාව කොයි විදියට පැවැත්විය යුතුද කියන එක. ඉතින් මේ විදියේ කාරණා රාශියක් අපට මේ කථාන්තරය තුළිනුත් ගාථාව තුළිනුත් නෙළාගන්න පුළුවන්. මේ අවුරුදු කැවුම් බණ තුළ - අපි අර කලින් සඳහන් කළ ආකාරයට - තියෙනවා ගුණ සුවඳක්, ධර්ම රසයක්. මේ පින්වතුන්ට හිතන්න හිතන්න මේවයි රසය උරාගන්න පුළුවන්. මේ එකට හොඳ අවස්ථාවක්. ඒ වගේම මේ පින්වතුන් දැන් මේ අලුත් අවුරුදු උත්සවයට සූදානම් වෙනවා. ඒක තුළ ඇති ධර්මතාවන් අපි හිතල බලමු. මොකක්ද මේ අවුරුදු උත්සවය කියල කියන්නේ? කාල චක්‍රය කරකැවීගෙන කරකැවීගෙන යනවා. මේක කොතනකවත් නවතින්නේ නෑ. නවත්ත ගන්නත් බෑ. කාලචක්‍රය හරියට අර දැති රෝදයක් වගේ. ඒකට අහුවෙල අපේ ජීවන චක්‍රයත් ගෙවිල ගෙවිල යනවා, දන්නෙම නැතිව - අපේ වයස ගෙවිල යනවා. ඉතින් මේක නවත්ත ගන්න බෑ. අපි ඉස්සරහට තල්ලු වෙනවා මිසක්, නැවතිලා කල්පනා කරන්ට වේලාවක් නෑ. අන්න ඒක නිසා තමයි මේ යම්කිසි චාරිත්‍රයක් ඇතිවෙල තියෙන්නෙ. අවුරුදු චාරිත්‍රවල සමහර ගැඹුරු අර්ථ බොහෝදෙනා තේරුම් ගන්නේ නෑ. මේක විනෝදවෙන අවස්ථාවක් හැටියට පමණක් සළකනවා. දැන් මේ අවුරුද්ද පිළිබඳව මේ පින්වතුන් දන්නවා ‘නොනැකත’ කියල එකක් තිබෙනවා. නොනැකත. නොනැකත කියල කියන්නේ නැකත නොවන අවස්ථාවක්. මේ ලෝකයා තුළ තිබෙනවා හැඟීමක් හැම එකක්ම - ලෞකික දේවල් හැම එකක්ම - නැකතට කරන්න ඕනැය කියල. එතකොට එහෙම ඒ විදියට ලෞකික දේවල් කරන්න නැකතක් නැත්නම් ඒක නොනැකත. ඉතින් සමහර කෙනෙක් හිතනවා ‘ඉතින් නොනැකතක් නිකං ගෙවන්න බෑ තේ. ඒක නිසා පින්වත් කරමු’ කියල. ඒක වැරදි අදහසක්. මේ නොනැකත කියන එක හඳුන්වලා තිබෙනවා පුණ්‍ය කාලය කියල. අපි ගැඹුරින් සලකල බැලුවොත් ඒක ඇත්ත වශයෙන්ම ‘පුණ්‍ය කාලය’ තමයි. පුණ්‍ය කාලය වෙන්නේ කොහොමද? අර කියාපු අර නොනැකත අවස්ථාව අපේ ජීවිතයේ විරාමයක් කරගන්න ඕන. අපේ කටයුතු මධ්‍යයේ ලබාගත්ත පොඩි විවේකයක්, විරාමයක්, හැටියට සලකන්ට ඕන. පරණ අවුරුද්ද කියල එකක් තිබෙනවා. අලුත් අවුරුද්ද කියලත් එකක් තිබෙනවා. ඔය දෙකට මැදින් නොනැකතක් තිබෙනවා. මේක පුණ්‍යකාලයක් කරගන්න ඕන අපි. කාල බිලා විනෝදවෙලා නොවෙයි. නැවතිල්ලෙ සංසුන්ව කල්පනා කරන්ට ඕන. “පසුගිය අවුරුද්දෙ මගෙන් වුනු - කයෙන් සිතෙන් වචනයෙන් වුනු - වැරදි මොනවාද? අසල්වාසීන්ට, නෑ සිතවතුන්ට, තුරුණුවන්ට, තවත් නොයෙකුත් දේවල්, මගේ අඩුපාඩු. ගුණධර්ම අතින් මගේ මොනවාද අඩුපාඩු? ශීලය පිළිබඳව මොනවාද අඩුපාඩු” ඒවා සලකල බලනවා. දැන් මේ පින්වතුන් දන්නවා, ඔය ගෙදරවල්වල අවුරුද්ද - අවුරුදු උත්සවය - එතකොට ගෙවල් දොරවල් හොදට සුද්ධකරල මලකඩ ඉවත්කරල පිරිසිදු කරල වෙන එකක් තබා අලුත් අවුරුද්දට අලුත් ලිපකුත් බැදලයි ආරම්භ කරන්නේ. මේ අලුත්වීම - මේක සිත අලුත්වීමක් කරගන්ට ඕන. සිත අලුත්කර ගැනීමේ අවස්ථාවක් - සිතේ තිබෙන කුණු කන්දල්, මලකඩ, හෝදල ඈරල අනාගතය දිහා බලල ධර්මානුකුලව, තමන්ගේ ජීවිතය මේ භයානක සංසාරයේ නිවනට නැඹුරුව අපායට නොයන ආකාරයට සිතුම් පැතුම් ක්‍රියාපටිපාටිය සකස්කර ගැනීමේ හොඳ පුණ්‍යකාලයක් කරගන්ට ඕන නොනැකත කියන එක - අර අවස්ථාව. විරාමය. එබදු අවස්ථාවකට ඔන්න හොඳ සියුම් පැතුම් කීපයක් තමයි අපි මේ ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කළේ. ඒ අනුව කෙනෙකුට සිතාගන්ට පුළුවන්. මෙන්න මේ ගුණ සම්පත්තිය තේරුම් අරගෙන, ශාසනික වටිනාකම් පරමාර්ථ හරියාකාරව තේරුම් අරගෙන, අපි ගිහි පැවිදි සම්බන්ධතාව කොහොමද පැවැත්විය යුත්තේ, ඊළඟට මේ ශාසනයේ වටිනාකම් මොනවාද, ‘ගනුදෙනුව’ හැටියට ශාසනයේ කල්පනා කරන්නේ මොනවාද, බුදු පියාණන් වහන්සේ දක්වල තියෙන්නෙ මොනවාද, ඒ විදියට අපේ ජීවිතත් සකස් කරගන්න ඕන කියල කල්පනා කරන්ට හොඳ අවස්ථාවක් මේ නොනැකත, පුණ්‍යකාලය. ඉතින් මේ අපේ ජීවිතය කියන එක - අර කාලචක්‍රය නම් කොතෙකුත් කරකැවිල යනවා. ඒකෙ මුලක් නෑ. අගක් නෑ. ඒකට අහුවෙන - දැතිරෝදෙට අහුවෙලා ගෙවෙන - අපේ මේ ජීවන චක්‍රය එච්චර ලොකු දෙයක් නොවෙයි. මේක මේ වෙලාවෙම නැතිවෙන්නත් පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙකුගෙ පරමායුෂ කියන එක දැන් කාටවත් කියන්නවත් බැරිතරම්. අවුරුදු සියයයි කියල අපි කිව්වට මොකද ඊට හුඟක් මෙහා දැන්. ඊට අමතරව, තව නොයෙකුත් ආපදා උපද්‍රව නිසා බාහිර අභ්‍යන්තර උපද්‍රව නිසා, අපේ ජීවිතය කොයි වෙලාවෙ යනවද, නැතිවෙනවද, කියන්න බෑ. මේ කථාකර කර ඉන්න අතරෙත් සමහරවිට හදවත තතර උනොත් එතන ඉවරයි ජීවිතයක්. අන්න එබදු ඒ භයානක තත්ත්වයක් තිබෙනවා. ඒක එහෙමයි ජීවිතයෙ කෙටිබව. ඊළඟට සංසාරයෙ දිග බව හිතන්ට ඕන. කොයිතරම් දිසි කාලයක් ඉපදි ඉපදි, මැරි මැරි, මේ සංසාරයෙ දුක් විඳිනවද කියල. මෙන්න මේ දෙක අතරෙයි අපේ මේ නියම තත්ත්වය තිබෙන්නෙ. අපි මේක කල්පනා කරල, ඊළඟට මේකෙන් මිදෙන්ට බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරල කිබෙන්නෙ මොකක්ද? ශීල, සමාධි ප්‍රඥා, එහෙම නැත්නම් දාන, ශීල, භාවනා වශයෙන් බුදු පියාණන්වහන්සේ දක්වන ඒ ගුණ සමුදාය. ඒක තුළ කරුණු රාශියක් තිබෙනවා. ඒ හැම එකක් ගැනම අපි කල්පනා කරල, මෙන්න මේ නොනැකත අවස්ථාව, පුණ්‍යකාලය, මේක නිසි ආකාරයට ප්‍රයෝජනයට ගන්නවා කියල කියන්නේ - දැන් ඔය දන්නවානේ මේ පින්වතුන්, වෙළඳ ශාලාවක් නම්, ඔය මේ කාලේ තිබෙන සාප්පු ආදියේ, කඩ සාප්පුවල, අවුරුද්දක් අන්තිමට ‘සේල්’ කියල නොයෙකුත් විදියට පරණ බඩු ඉවත් කරගෙන කොහොමහරි අඩුමිලට හරි විකුණල ඒවා ඉවත් කරල අලුත් දේවල් ගේනවා. ඒ වගේ අපිත් කරන්න තියෙන්නෙ අර කුණු කන්දල් ටික, මේවා කොහොම හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒව දීල හරි - හිත අලුත්කරගන්නට ඕන. ඒකයි අලුත් අවුරුද්ද කියල කියන්නේ. අලුත් අවුරුද්ද කියන්නේ ඇඳුමෙන්වත්, ගෙවල් දොරවල් පිරිසිදු කිරීමෙන්වත්, සායම් වලින්වත් අලුත් වීමක් නොවෙයි. නියමාකාර අලුත් අවුරුද්ද නම් ඒක ගුණ සම්පත්තියෙන් වැඩෙන අලුත් අවුරුද්දක් වෙන්ට ඕන. උත්සවයක් කියල කියන්නේ අන්න ඒකයි - ඇතුළතින්. දැන් ඒ අතින් හිතල බලනකොට මේ කථාවෙ තිබෙන අර කුඩා දරුවන්ගේ ආදර්ශයත් අපි හිතල බලන්ට ඕන. මේ කාලෙ විශේෂයෙන්ම ගිහි පින්වතුන්ට හොඳ ආදර්ශයක් දෙනවා අර කුඩා දරුවෝ. මොකද, ඒ උයනට එදා ඒ දරුවන් ගියේ කැවුම් මලු ඔසවාගෙන සංඝයා වහන්සේලාට මේක පූජාකරන අදහසින් නොවෙයි. ගිහිල්ල හොදට කාල බීල විනෝද වෙන්න. නමුත් ඒක පරිත්‍යාග කළා. ඒ අදහස පරිත්‍යාග කළා. ඒ ඉස්තරම් රසවත් ආහාරය කැවුම් . ඒව ඔක්කොම පරිත්‍යාග කළා, බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට. ඒ කැවුම් වල රසයට වැඩිය උතුම් ලොව්තුරු රසයක් එයින් ඒ දරුවන්ට ලැබුණ, ඒ අවස්ථාවෙම සෝවාන් එළය ලබාගැනීමෙන්. අන්න ඒ විදියට අපි කල්පනා කරන්ට ඕන, මේ ලෝකයේ වටිනාකම්වලට වඩා උතුම් වටිනාකම් සමූහයක් අපිට බුදුපියාණන්වහන්සේ හඳුන්වල දීල තිබෙනවා. බුද්ධ ශාසනය කියල කියන්නේ ඒ වටිනාකම් අනුව ජීවත්වීමයි. අපේ ජීවිතය හැඩගස්සා ගැනීමයි. ඉතින් මෙන්න මේ දරුවත් දුන්න ආදර්ශය අනුව අපි කල්පනා කළොත්, මේ අවුරුද්ද කියන එක අපි කාල බීල විනෝද වෙල - එවයි යම්කිසි විනෝද මට්ටමක් සමහරවිට අවශ්‍ය වෙන්ට පුළුවන් - නමුත් තමන්ගේ අනාගතය පිරිහෙන විදියට, ජීවිතය අනාථ වෙන විදියට, ඒ අලුත් අවුරුදු විනෝදය යොදා ගත්තොත් ඒකට ණය ගෙවන්ට වෙනවා. ඒකට දුක්වෙන්ට වෙනවා දිසි කාලයක් සංසාරයේ. අන්න ඒක නිසා උත්සවයක් කියන එක ඇත්ත වශයෙන්ම තමන්ගේ සිත සතුටුවෙන්ට නම්, සිතේ සැනසීමයි. ඇත්ත වශයෙන් ලෝකයේ තිබෙන ඉහළම සැපත තමයි සැනසීම - ඒක කවුරුත් පිළිගන්නවා ඇති. අන්න ඒ සැනසීමට මාර්ගයයි බුදු පියාණන්වහන්සේ ඒ නිර්වාණ ශාන්තිය නමින් හඳුන්වල දීල තිබෙන්නෙ. ඒකයි - ඒ පරතෙරයි. ඊට මත තිබෙන ඒ ශාන්තිය - එදිනෙදා ජීවිතයේ - ළහාකර ගැනීමට තමන්ගේ ජීවන රටාව පිළිබඳව, කාල සටහන පිළිබඳව, දින චරියාව පිළිබඳව, යම්කිසි සංශෝධනයක් අවශ්‍ය වෙන්ට පුළුවන්. හැම පින්වතෙක්ම ඒ විදියට කල්පනා කරනවා නම් ඊළඟට එන නොනැකත අවස්ථාව නියම නැකතක් වෙනවා. ඇත්ත වශයෙන් අපි කල්පනා කරන්ට ඕන-දැන් සමහර කෙනෙක් හිතන්ට පුළුවන් නොනැකත වෙලාවෙ මොකක් හරි කළොත් ඒකට අපල වෙනවා කියල. නමුත් පින්වතුනි “මිනිස් බව ලත් තැනේ කුසලක් නොකර උන්නොත් අපල වන්නේ”. අපල වන්නේ අර මිනිස් බව ලබාගෙන කුසලයක් තොකර හිටියොත්. නිෂ්ඵල වෙනවා කියන එකයි. අපල කියන්නේ. ඉතින් මේ නියම නැකත තමයි මේ බුද්ධෝත්පාද කාලය. මේ තරම් මේ නියම නැකත ලැබිල තිබෙනවා නම්, මේ නැකැත් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්ට ඕන. අපට ඒක එදිනෙදා හැමදාම කරන්ට බැරි නිසා වෙන්ට ඕන මේ විදියට මේ අවුරුද්දක් ගෙවෙන තැන නොනැකත කියල එකක් හදාගෙන, පුණ්‍යකාලය කියල හදාගෙන, පොඩි විරාමයක් ඇතිකරගෙන තුවණැත්තන් ඒකෙන් ප්‍රයෝජනය ගත්තේ. නමුත් තුවණ නැත්තන් ඒ වෙනුවට කළේ මොකක්ද, අර නොනැකත තවත් නොයෙකුත් අනවශ්‍ය දේවල් එකතු කරගෙන මේක තමන්ගේ පරිහානියට හේතු වන අන්දමට විනෝද මාර්ගවලට පමණක් යොමු කරගත්තා. ඒක නිසා අපි ධර්මානුකුලව කල්පනා කරන්ට ඕන, මේ පුණ්‍යකාලය ඇත්ත වශයෙන්ම පුණ්‍යකාලයක් කරගෙන, තමන්ගේ සිත් පිරිසිදු කරගෙන අලුත් අවුරුද්දේදී, වඩාත් හොදින් රීළහ අවුරුද්ද ධර්මානුකුලව තමන්ගේ ශීලයෙ අඩුපාඩුකම් තිබෙනවා නම් ඒ එක එකක් ගැන සලකල, ආවර්ජනා කරල, ඒවා සකස් කරගන්නා. විශේෂයෙන්ම ජීවිකාව පිළිබඳ ප්‍රශ්නය මේ කාලයේ ගිහි පින්වතුන්ට ලොකු ගැටළුවක්. ලෝකය යන්නේ භයානක අන්දමින් භෞතික දියුණුව සොයාගෙන. ධාර්මිකය ගැන නොතකා ආර්ථිකය ගැන පමණක් හිතන යුගයක් මේක. අන්තිම ප්‍රපාතයට ගිහිල්ලා වැටෙනතුරු දන්නේ නෑ. ඒක නිසා ඉක්මණින් ධනය සපයා ගැනීම, උපයාගැනීම, සඳහා නොයෙකුත් විදියේ ආජීවයන්, මිථ්‍යා ආජීවයන්, පෙරමුණට එන යුගයක්. නුවණැති බෞද්ධ පින්වතුන් කල්පනා කරන්ට ඕන බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මය මුල්තැන කරාගෙන, තමන්ගේ ආජීවය ගැන. සමහරවිට එදිනෙදා ජීවිතයේ අඩුපාඩුකම්, අගහිඟකම්, ඇතිවෙන්ට පුළුවන්. ඉක්මණින් පොහොසත්වෙන්ට බැරිවෙන්නත් පුළුවන්. නමුත් අර දැන් මේ අවස්ථාවේ සමාදන් උනා වගේ මිථ්‍යා ආජීවයෙන් වෙන්වීම කියල කියන ඒ උතුම් ගුණධර්මය වඩන්න විශේෂයෙන් උත්සාහවත් වෙන්ට ඕන. දැන් ඔය බුදුපියාණන්වහන්සේ දක්වන දේවල් මේ කාලයේ කරන්ට බැරි දේවල් හැටියට සමහරවිට හිතන්ට පුළුවන්. සතුන් මසට ඇති කිරීම, මාංශ වෙළදාම් ආදියෙන් වැළකී සිටීම, අවි ආයුධ වෙළදාමෙන්, ඊළඟට වස විස වෙළදාමෙන්, මත්පැන් වෙළදාමෙන් ඔය විදියේ දේවල්වලින් වෙන්වෙලා හිටියොත් අපට කරන්ට රස්සාවක් නැහැයි කියල හිතෙන තරමට. මේ විදියට සමාජය භයානක ප්‍රපාතයක් කරා යනවා. නමුත් තමන් කල්පනා කරන්ට ඕන. තමන් මේ දිගු සංසාරයේ කවදුරටත් දුක් විඳිනවද, මේකට යම්කිසි පරිත්‍යාගයක් කරල මෙයින් මිදෙන්ට උත්සාහ ගන්නවද, මේ විදියේ මේ ක්ෂණ සම්පත්තියක් ලැබුනහම, කියල එක නුවණින් කල්පනා කරල, සමාජය කොයි විදියට කිව්වත්, වෙන එකක් තබා තමන්ගේ නිවසේ අනිත් අය කොයි විදියට හිතුවත්, පැතුවත්, ජීවත් උනත්, තම තමන් - අපි උපන්නෙත් මැරෙන්නෙත් තනිවයි. ඒක නිසා, ඒ වගේම තමන්ගේ කර්මයට තමන් වගකියන්ට ඕන. බුදුපියාණන් වහන්සේ වදාරල තියෙනවා. කම්මස්සකා මාණව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්ධූ කම්මප්පටිසරණා කම්මං සත්තේ විභජ්ජති යදිදං හීනප්පණීතතාය ආදී වශයෙන්. මේ කර්මය තමයි අපට අයිති. මේ කර්මය තමයි අපේ දායාදය. කර්මය නිසාමයි අපි උපන්නේ, කර්මය තමයි අපේ උත්පත්තියට හේතුවෙ. ඊළඟට අපේ ඤාතියත් කර්මයයි. කර්මය තමයි අප පිළිසරණ වශයෙන් සිටින්නේ. ඒක නිසා අප කරන කර්මයට අපි වගකියන්ට ඕන. ඒක නිසා අපේ ජීවන රටාව සකස් කර ගැනීම අපේ යුතුකමක්. අර කෙටි මාර්ග බොහෝවිට හයානකයි. කෙටි මාර්ග, ඉක්මන්වීම්, බොහෝවිට හයානකයි. ඒ විදියට ඉක්මණින් ධනය සපයා, උපයා ගැනීමට, ඉක්මණින් ගෙදරදොරේ තිබෙන ගැටළු විසඳා ගැනීමට, කියල අධර්ම මාර්ගය ගත්තොත් ඒ තැනැත්තාට කවදා හෝ ඒ නිසා දුක් විඳින්ට සිද්ධ වෙනවා. අන්න ඒක නිසා විශේෂයෙන්ම අර කියාපු ගණන් බලන අවස්ථාවේ - නොනැකත ගණන් බලන අවස්ථාවක් හැටියට අරගෙන - පසුගිය අවුරුද්ද තුළ තමන්ගේ ආදායම ගැන සලකල බලන්ට ඕන. ආදායම කියල කියන කොට ලෞකික අර්ථයෙන් බලනවා නම් ඉලක්කම් වලින් දකින්ට පුළුවන් අයවැයක්. ගැඹුරු අර්ථයෙන් බලනවා නම් අයවැය කියල කියන්නේ මොකක්ද, අය පක්ෂය තමයි පින්. වැය පක්ෂය තමයි පව්. අපෙන් කෙරිච්ච පව් මොනවාද? අකුසල් මොනවාද? අප විසින් කළයුතු, කළහැකි, කරන්ට උත්සාහ ගත්තුතු, කුසල් මොනවාද? පින් මොනවාද? අන්න එහෙම සලකල බැලීමයි. දැන් ඒ විදියට තම තමන් පිළිබඳවත් ‘ගණුදෙනුවක්’ කරන්ට ඕන. දැන් මේ අවුරුදු උත්සවයෙම කොටසක් තමයි අසල්වාසීන් එක්ක අර නොහොද නෝක්කඩු ඉවත්කරල, ගණුදෙනු කරල, ඒ විදියට තමයි අලුත් අවුරුද්දක් අරඹන්නේ. ඇතුලතින් කෙරෙන්න ඕන ගණුදෙනුවකුත් තිබෙනවා. තමන් මේ ලබාගත්තු ජීවිතයට, දුර්ලභ මනුෂ්‍යාත්මයට, අපි ණය නොවී ඉන්න ඕන. කීදෙනෙක් ලබාගත්තු මනුෂ්‍යාත්මභාවයට ණය වෙලා මිය යනවද? උත්පත්තිය ලැබුවෙ මනුෂ්‍යයෙක් හැටියට. නමුත් ජීවිතය ගත කරන්නේ, ඒ වගේම මැරෙන්නේ, හරියට මනුෂ්‍ය ප්‍රේතයෙක් හැටියට. මනුෂ්‍ය යක්ෂයෙක් හැටියට. අන්න ඒ විදියේ තත්ත්වයකට යන්නේ නැති ආකාරයට තමන්ගේ ජීවන රටාව සකස්කරගන්ට උත්සාහවත් වෙන්ට හොඳ අවස්ථාවක්. ඒක නිසා මේ පින්වතුන් තම තමන්ම ඒ ජීවිතයට අදාළ ජීවන රටාවට ළං වෙන්ට ඕන. එදිනෙදා ජීවිතයේ බොහෝ දෙනා මේ කාලේ කියනවා, දැන් හොඳ ජීවිතයක් ගැන කථාකරන අවස්ථාවේ ඇතැම් කෙනෙක් කියනවා - ඒක එස්තරා විදියක මෝස්තරයක් බවට පත්වෙලා තිබෙනවා - “අපි පවි කරන්නේ නැහැ. අපි වරදක් කරන්නේ නැහැ”. ඉතා පහසුවෙන් කියවෙන එකක්. නමුත් මේ වරදක් කරන්නෙ නෑ කියල කිව්වට එපමණකින් වැඩේ සම්පූර්ණ වෙන්නේ නෑ. මේකෙ හොඳ පැත්තක් තිබෙනවා. කුසල් කරන්ට ඕන. සිත සකස් කර ගැනීම - සාමාන්‍ය ප්‍රතිපත්ති, ශීල ප්‍රතිපත්ති. ඒ සිල් සමාදන්වීම් ආදිය කිරීම පමණක් නොවෙයි. ඒවා ආවර්ජනා කරල, තමන්ගේ ජීවිත රටාව ශීලයට අනුරූපව පවත්නවද කියල නිතර එදිනෙදා සලකල බලන්ට ඕන. ඊළඟට එතනින් නවතින්න තරකයි. මේ ශාසනයේ ශීලය කියන එකේ නියම පරමාර්ථය සමාධියි. භාවනාවයි. ශීලය මත සමාධිය ගොඩ නගන්නේ නැතිව සිටිනවා නම් ඒකෙන් වැඩක් නෑ. එතකොට ශීලය අත්‍යාවශයි. පංචශීලය හෝ ආජීව අෂ්ටමක ශීලය හෝ දශශීලය හෝ මේ පොහොය අටසිල් හෝ යම්කිසි ශීලයක් සමාදන්වෙන්නේ ඒ ශීලයෙන් කය වචනය හික්මවා ගෙන ඒ තුළින් සිත තැන්පත් කරගැනීමටයි. සමාධිමත් කරගැනීමටයි. අන්න ඒක නිසා ඒ ගැනත් උනන්දු වෙන්ට ඕන. මේ සමාධිය කියන එක. තැන්පත් බව. මේ සමාධියෙත්, මේකෙත් දෙපැත්තක් තියෙනවා, ශමථ විදර්ශනා වශයෙන්. සිත තැන්පත් කර ගන්නවා යම්කිසි කුසල අරමුණක. මෛත්‍රිය බුද්ධානුස්සතිය, අසුභය. එහෙම නැත්නම් මරණසතිය - ඈවනි යම්කිසි කමටහනක් එදිනෙදා ජීවිතයේ පුරුදු කරලා ඒ විවේක අවස්ථාවල්වල. විශේෂයෙන්ම උදෑසන, රැයේ නින්දට යන්ට පෙර, එහෙම නැත්නම් අනිත් අය නිදාගත් අවස්ථාවේ හෝ, තමන්ට විවේකය කොහොමහරි ලබාගෙන එදිනෙදා දින චරියාවෙ කොටසක් හැටියට සුළු වේලාවක් - විනාඩි පහක් හෝ දහයක් හෝ - මෛත්‍රී භාවනාව ආදී යම්කිසි කමටහනක් වැඩීමෙන් තමන්ගේ සිත පිරිසිදු වෙනවා වගේම සමාධිමත් වෙනවා. එයින් සිත තැන්පත් වෙනවා. ඊළඟට ඒ පමණකින් නවතින්ට තරකයි. සමාධිය පමණක් වඩල ඒ ඉහළ තත්ත්ව අභිඥා ආදිය ලබාගත්තු අය බුද්ධෝත්පාද කාලයේ පමණක් නොවෙයි අබුද්ධෝත්පාද කාලවල සිටත් සිටිය. නමුත් සසර දුක් කෙළවර කර ගන්න බෑ, එපමණකින්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වනවා සමාධිය මත ඉඳල ඊළඟට විදර්ශනා වඩන්ට ඕන. අන්න ඒ සඳහා තමයි ශීලයත් සමාධියත්. ශීල, සමාධි, ප්‍රඥා නමින් හඳුන්වන්නේ ඒ විදර්ශනා ප්‍රදාවයි. ඒක දියුණුකර ගැනීම සඳහාත් උත්සාහයක් දැරිය යුතුව තිබෙනවා. ගිහි ගෙවල්වල ඉඳගෙන අපි මේවා කරන්නේ කොහොමද කියල හිතන්ට තරකයි. අතීතයේ බුද්ධකාලයේත් ඊට මැතක - දැන් මේ කිව්ව කුඩා දරුවන් සෝවාන්ඵලය ප්‍රත්‍යක්ෂ කර ගත්තයි කියල කියන්නේ. සමාධිය පමණක් නොවෙයි මේක තුළ තියෙනවා විදර්ශනා ඤාන. මේක ඉතා සියුම් දෙයක්. දිගු කාලයක් සංසාරයේ යම් යම් අවස්ථාවල්වල අපි කොතෙකුත් භාවනා වඩන්ට ඇති. ඒවා අපේ හිත්වල තැන්පත් වෙලා තිබෙනවා. විඤ්ඤාණයේ තැන්පත් වෙලා තිබෙනවා. ඒක ධන නිධානයක් වගේ. නමුත් අපි දන්නෙ නෑ මේක. දැන් රත්තරන් පිඟානක් උනත්, අපේ ගෙදරවල්වල ඔය අගුවෙ කුස්සියේ තියෙනවා නම් අපිට අදුනගන්ට බෑ. අල්පෙනෙක්තකින් හරි ඉරක් ඈදල බැලුවහම තමයි මේක අදුනගන්ට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ අපේ විත්ත සන්තානයේ ඇතුළේ ඇති - කෝටින්ම මනුෂ්‍ය ආත්මභාවයක් ලබල තියෙන්නෙ යම්කිසි විශේෂ පුණ්‍ය ශක්තියකින්. ඒ තුළ තිබෙන්ට පුළුවන් අතීතයේ බණ භාවනා වඩපු ඒ ශක්තීන්. ඒවා සැඟවිල තිබෙනවා. ගිහි හෝ පැවිද්දෝ වේවා, පැවිදි හෝ වේවා, ඒවා මතුකර ගැනීම සඳහා අන්න විදර්ශනා භාවනාවක් අරඹන්ට ඕන. ඒට නිසි ඒ කර්මස්ථානාවාදිවරුන් හමුවෙලා. කල්‍යාණ මිත්‍රයින්ගේ පිහිටෙන් විදර්ශනා භාවනාවට සිත යොමුකරන්ට ඕන, අනිත්‍ය - දුඃබ - අනාත්ම වශයෙන්. එදිනෙදා ජීවිතයේ තමන්ගේ මේ ජීවන රටාව තුළ හමුවෙන හැම දෙයක්ම මේ ධර්මයට සාධක කරගන්ට ඕන. නිදර්ශන කර ගන්ට ඕන. ඒ තුළින් දකින්ට පුරුදුවෙන්ට ඕන. මේ බුදුපියාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය. ඒක සිතට හුරු කරගත්තහමයි යම්කිසි අවස්ථාවක අර විදියට ඉතාමත් ක්ෂණිකව, මාඟීඵල ප්‍රතිවේධ කරගන්ට පුළුවන් වෙන්නේ. අතීතයේ කථාන්තරයක් තිබෙනවා එක්කරා රජකුමරියක් ඒ තමන් ගිය වැසිකිළියක හිටිය පණුවන් දැකල පුළුවක සංඥාව ඇතිකරගත්තා. ඒ අවස්ථාවේ, කෙනෙක් මැරුණට පස්සේ මේකෙ පණුවෝ දාන හැටි. අර පොඩි හිතිවිල්ල උපකාරී උනා රහත්වීමට පවා. අන්න ඒ වගේ අපි එදිනෙදා ජීවිතයේ මග තොටේදී දකින්නට ලැබෙන දේවල්, කියවන පුවත්පත් ආදියෙන්, අසන්ට ලැබෙන ප්‍රවෘත්ති ආදියෙන්, අපේ සිත් කලඹාගන්නේ නැතිව, කිලිටි කරගන්නේ නැතිව - රාග - ද්වේෂ - මෝහ ආදියෙන්, ඒ වෙනුවට කරන්ට ඕන, මේවා තුළින් දකින්නට ඕන බුදු පියාණන්වහන්සේ වදාළ අනිත්‍ය දුඃබ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. අන්න ඒ විදියේ අමුතු දෘෂ්ටියක් ඒ විදර්ශනාව. දැන් මේ කාලේ ඇතැම් කෙනෙක් කියන්ට පුළුවන්, අතීතයේ කෙසේ වෙතත්, අතීතයේ අපේ පැරණි සිංහලයන්ගේ ජීවන රටාව කෙසේ වෙතත්, මෙකල ඒව කරන්ට බෑ කියල. අතීතයේ නම් ඒ අපේ අතීත මවිවරු - ධර්මයෙහි සඳහත් වෙනවා, පොත පතේ සඳහත් වෙනවා - වී කොටනකොට පවා වී ඇටයක පොත්ත නිකං ගැලවෙන්ට අරින්නේ නෑ ඒකත් භාවනාවට නගනවා. අනිත්‍යතාව, අන්න ඒ වගේ. දැන් මේ පින්වතුන්වත් කොයි කොයි අන්දමේ සුබෝපභෝගී භාණ්ඩ ලෝකයේ බිහිවෙල තිබෙන නමුත්, ඒවා තුළිනුත් අනිත්‍යතාව දකින්ට ඕන. මේ අද විසිත්ත කාමරයේ තිබෙන එක ඊළඟ දවසෙ කුස්සියේ නේද? ඊළඟ දවසෙ අන්තිමට ඒක කුණු ගොඩේ නේද? ඒ හැම දෙයක්ම - මේ නවීන, නූතන, ලස්සන කියල ගන්නා හැම දෙයක්ම - විනාශය කරා විනාශ මුඛය කරා, යන හැටි. ඊළඟට තව නොයෙකුත් මේ තාත්තමාත්ත නොයෙකුත් විලාසිතාවන් සහිත මහා ඉහළින් වැජඹෙන නිලතල සහිත හැම දෙනාටම යන කලදසාව - එකපැයෙන් එක මොහොතකින් විනාශවෙලා යන ආකාරය - මේවා තුළින් දකින්ට ඕන බුදු පියාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය. මේ එකක්වත් අමුතු දේවල් නොවෙයි. මේ එකක්වත් අමුතු නෑ. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා ‘මේක හදිසි අනතුරක්’ කියල. හදිසි අනතුරු කියල ජාතියක් තියෙනවා කියල. නමුත් ඇත්ත වශයෙන් ස්වභාවධර්මයේ හදිසි අනතුරු නෑ. අපි හිතමු ගමන්කරන වාහනයක රෝද ගැලවුනා හදිසියේ. එහෙම නැත්නම් මොකක්හරි ඒ විදියේ දෙයක් සිදුවෙල ඔය අනතුරක් කියන දෙයක් සිදුඋනා. මේක ඒ වෙලාවෙ විතරක් උනා තෙවෙයි. මේක හෙමි හෙමිහිට බුරුල්වෙවී තිබිලයි ගැලවුනේ. ඒක අපි නොදැක්ක නිසා අපි ඒකට හදිසි අනතුර කියල කියනවා. අන්න ඒ වගේ තමයි. අපේ මේ හදිසි අනතුරේ ඒ එක පැත්තක්. අපට සිදුවන සිදුවීම්, අපට වෙන ආපදා - මේවා යට තිබෙනවා කර්මය. අර කර්මවක්‍රය. එකක්වත් හදිසි අනතුරු නොවෙයි. බුදු පියාණන් වහන්සේලා, අභිඥාලාභීන්, මේවා දැකල පොඩි මඳසිනාවක් පහළකරනවා. මොකද? ‘මං දැක්ක මේක වෙන බව - වළක්වන්ට බෑ, හැබැයි’. ඒක නිසයි ඒ මද සිතහවක් පහළ කරන්නේ. දැන් කුඩා දරුවෙක් - නැගිටින්න උත්සාහ කරන කුඩා දරුවෙක් දිහා බලන් ඉන්න මවු කෙනෙක්. කොහොම හරි මෙයා නැගිටින්නක් ඕන තෑ. වැටෙන වැටෙන වාරයක් පාසා පොඩි සිනාවක් දානවා නේ? අන්න ඒ වගේ තමයි බුදුපියාණන් වහන්සේලා මේ ලෝකයේ මනුෂ්‍යයින් මේ හදිසි අනතුරු කියන ජාතිවලින් විනාශවෙලා යනව දැකල කම්පා වෙනකොට හිතනවා “අනේ මේක දැක්කෙ නෑ නෙ මේ අය. මේකට හේතුව මීට කල්ප ගණන් ඈත කරපු යම්කිසි අකුසලයක්. එහි විපාකයයි මේ විඳින්නේ”. එතකොට අන්න ඒ විදියේ තත්ත්වයක් මේ ලෝකයෙ කිබෙන්නෙ. ඇත්ත වශයෙන්ම ස්වභාව ධර්මයෙහි හදිසි අනතුරු නෑ. ඒවා ස්වාභාවික සිද්ධි. ස්වාභාවික කියල කියන එකට එකතු කරන්න ඕන - ලෝකයේ සාමාන්‍ය අජීවී එහෙම නැත්නම් ජීවයක් නැති දේවල් පිළිබඳව තියෙන ටික විතරයි අපි බොහෝවිට ස්වාභාවික කියල කියන්නේ - නමුත් මේ කර්මවිපාකයත් ඊට අයිතියි. කර්මයත් විපාකයක්. හරියට අර දැන් පින්පව් ගැන කියන කොට අපි කිව්වතේ ගොවිතැන් කිරීම ගැන. ඒ වගේම බුදුපියාණන් වහන්සේ වදාරල තියෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං යම් යම් ආකාරයකට වපුරනවා නම් ඒ ඒ ආකාරයට එහි අස්වැන්න නෙළාගන්න ලැබෙනවා. හොඳ කරන තැනැත්තා, කුසල් කරන තැනැත්තා, ඒ හොඳ විපාක ලබනවා. පවි කරන තැනැත්තා දුඛ විපාක ලබනවා. අන්න ඔය විදියේ තත්ත්වයක් නිසා අපි එතකොට මේ ඉදිරියට එන නොනැකත කාලය නියම පුණ්‍යකාලයක් හැටියට තමන්ගේ ජීවිතය පිළිබඳව විශේෂ සමාලෝචනයක් කරල, පුනරීක්ෂණයක්, පුනරාලෝකනයක්, කරල, ඒ තුළින් ඉගෙනගත්කු යම් යම් දේවල් අනුව රීළහ අලුත් අවුරුද්ද හොඳ ජීවන රටාවකින් යුක්තව, හොඳ කාල සටහනකින් යුක්තව, ආරම්භ කරන්ට අධිෂ්ඨාන කරගන්ට ඕන - අද වැනි මේ වටිනා පෝය දවසක. මේ අවුරුද්දත් පෝයත් එකට ආවේ මේක තුළින් අපේ ධර්මානුකුල ජීවිතය හැඩගස්සවා ගැනීමට අවස්ථාවක් කියල සලකාගෙන මේ පින්වතුන් අද දින පැයක් ඇතුලත ධම්ශ්‍රවණය කිරීම තුළිනුත් තමන්ගේ සිතේ ඇතිවුනු පිරිසිදු කම ගැන හිතල බලන්ට ඕන. ආජීව අෂ්ටමක ශීලය හෝ ඊට වඩා උසස් පෝය අටසිල් වලින් හෝ යුක්තව මේ පින්වතුන් ධම්ශ්‍රවණය කරල කය වචනය හික්මවාගෙන, තුනුරුවන් කෙරේ හොඳ ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ ශ්‍රද්ධාව අනුව ඇතිකරගත්තු යම්කිසි වීර්යයක් මූලකරගෙනයි මේ අවස්ථාවේ මේ විදියට බිම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළේ, සිත යොදාගෙන තව නොයෙකුත් බාධක කරදර මධ්‍යයේ. ඒ ආයාසය අනුව යෙදූ සතිය, සිහිය, මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා වචනයක් පාසා ඊට සවන් දීම සඳහා යෙදූ සතිය, සිහිය, ඊළඟට ඒ තුළින් යම්කිසි තැන්පත් බවක් සිතේ ඇතිලනා නම් ඒ ශ්‍රද්ධාදි ගුණධම් වශයෙන්ම සිත යොදාගැනීම නිසා ධම්මානුසසති වශයෙන් හෝ - ඒක සමාධිය හැටියටයි සලකන්ට පුළුවන්. අන්න ඒ විදියට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියල කියන නිවනට උපකාර වන්නාවූ ඒ ඉන්ද්‍රිය බල ආදිය දියුණුකරගැනීමේ මූලික අභ්‍යාසයක් මේ ධම්ශ්‍රවණය තුළින් සිදුඋනා. ඒක තුළිනුයි මේ පින්වතුන්ට යම්කිසි දවසක නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගැනීමට පුළුවන් වන්නේ. අන්න ඒ උතුම් නිර්වාණධම්‍ය කල්නොයාදීම මේ ජීවිතයේදීම, මේ උතුම් බුද්ධෝත්පාද කාලයේ ලබාපු මනුෂ්‍යාත්මභාවය තුළදීම, ප්‍රත්‍යක්ෂ කරගැනීමට ශක්තිය බලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරගැනීමට ඕන. ඒ වගේම, අපි මේ ධර්ම ශ්‍රවණය වශයෙන් ධර්ම දේශනාමය වශයෙන් රැස්කරගත්තු යම් කුසල සම්භාරයක් ඇතොත් ඒ සියල්ල ශාසනාරක්ෂක දෙවිදේවතාවුන් වහන්සේලා - දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය - අනුමෝදන් වේත්වා! ඉදිරියටත් ශාසනයටත් අපටත් ආරක්ෂාව සලසා දෙමින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා කියල දෙවියන්ටත් පින් අනුමෝදන් කළයුතුව තිබෙනවා. ඒ වගේම අපගේ මිය පරලොව ගිය ඤාතීන් ඇතුළු අවීචියේ පටන් අකනිටා දක්වා යම්කිසි සත්ත්ව කොට්ඨාශයන් මෙබඳු මේ ධම්දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වන්ට බලාපොරොත්තුවෙනවා නම් මේ පින් අනුමෝදන් වීමෙන් දුඛ තත්ත්වවලින් අත්මිදි සුඛි තත්ත්වවලට පත්වී කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබාගෙන, භාවනාදි සියලු කුසල් ධර්ම සම්පූර්ණ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවක් කරන්ට ඕන. ඒ විදියට හිතාගෙන මේ අවස්ථාවේ මේ ගාථා කියල පින් දෙන්න. ‘එත්තාවතා ච අම්හේහි……….’